Pages

Saturday, May 2, 2020


පහසුවෙන් යා නොහැකි- සීරුවෙන් නිමාකලයුතු
"කොබෝනීලගල"


   අද්දැකීම වලින් පරිපුර්ණ ජීවිතය කොයිතරම් අර්ථවත් ද ? තාරුණ්‍යය අයාලයේ දියකර හරිනවාට වඩා එය අද්දැකීම් වලින් පරිපුර්ණ යුගයක් බවට පරිවර්තනය කරගන්නට ඇත්නම් එය කොයිතරම් අග්නේද ? කෙදිනක හෝ අපට ඉතිරිවන්නේ අප රැස්කරගත් අද්දැකීම්වල මතකයන් පමණි. ජීවිතය පිළිබද නැවත හැරී බලන්නට සිතුනු දවසක ඒ මතකයන් මුවගට සිනහවක්, සිතට අභිමානයක් ගෙන එන්නට සමත් වේ නම් අප කොයි තරම් වාසනාවන්තද ..
නූතන තාරුණ්‍යය සමාජජාල ඇසුර තුළින් නවමු අද්දැකීම් සොයා යන යුගයක; මුහුනුපොතේ මිත්රුත්වය සැබෑ ජීවිතයේ අද්දැකීම සොයා ගිය චාරිකාවක් පිළිබදව තමයි අද මගේ අද්දැකීම විවරණය.
විවේකයක් ලද සෑම අවස්ථාවකම දිය ඇල්ලක් , කන්දක් , දූපතක් සොයා යෑමේ පුරුද්දක් ඇති මට; හමුවූ තවත් එවැනිම සමාජජාල මිත්ර එකතුවක් තමයි “සොබාසිරි” සමූහය කියන්නේ.. අප වෙන් වෙන්ව ඇවිදීම ජීවිතය කරගත්තවුන් වන අතර මෙය තමයි අප එකතු වූ පළමු චාරිකාව.
මුහුණුපොත තුළ සාකච්චා කරගත් පරිදි රාත්රී 12ට කොටුව දුම්රියපොළ ළගට තමයි සියළු දෙනාම එකතුවෙන්න තීරණය කරේ. ගමන පිළිබදව කොයි තරම් උවමනාවක් , කුතුහලයක් තිබුණද කියනවා නම් මම රෑ 10.30 වෙනකොටත් කොටුව දුම්රියපල ළග . දැන් ඉතිං මොනවා කරන්නද .. ඔන්න ඉතිං පැයක් එකහමාරක් යනකොට එක්කෙනා දෙන්නා එන්න පටන්ගන්නවා . කිසිවෙක් හරිහැටි නොහදුනන මුත් ගමන්මලු සහ කුතුහලය මුසු හැසිරීම දැකපු ගමන් කියන්න පුළුවන් මේ අපේ ගමනයට සම්බන්ද වෙන අය තමයි කියන එක.
නියමිත වෙලාවට ගමන්රථයට ගොඩවුණු අප ; එකිනෙකා නොහදුනන නිසාත් , රාත්රිඅයේ වටපිටාව හරිහැටි නොපෙනෙන නිසාත් ; එලිය වැටෙනකම් පොඩි නින්දක් දාන්න ඕනේ කියලා සැරසුණා විතරයි. අහළ පහළ ඉදගෙන ඉදපු උදවියගේ පොඩි පොඩි මාතෘකාවල කතාබහක් හෙමි හෙමිහිට ඇහෙන්න ගත්තා. පැය බාගයක් යන්න උනේ නෑ . පොඩි පොඩියට ඇහිච්ච කතාබහ ලෝකය ගැන, මිනිස්සු ගැන, රටේ දේශපාලනය ගැන, අධ්යා පනය ගැන වගේ නානාප්රනකාර මාතෘකා ඔස්සේ තර්කානුකූල කතාබහකට පත්වුනා විතරක් නෙමෙයි පාන්දර එලිය වැටෙනකනුත් , ගමනාන්තය දක්වා ගොස් බස් රථයෙන් බසිනතුරුත් පොඩ්ඩක් ඇහැ පියාගන්න නම් හැකි උනේ නෑ.
අප එකිනෙකා වගේ ම අප අද තරණය කරන්නට සැරසෙන කදුවැටියත් හැමෝටම අළුත්. ඒ කියන්නේ අප අතරින් කිසිවෙකුත් මේ ගමන මින් පෙර ගිහින් නෑ කියන එක. ඒ තමයි දුම්බර කදු පන්තීන් අතර පිහිටි තවත් මනස්කාන්ත කන්දක් වන “කොබෝනීලගල”. බැලූබැල්මට මෙම කන්ද හස්තියෙකුගේ පෙනුමකින් යුතු නිසාවෙන් අවට ගම්වාසීන් නම් කොබෝනීලගල හදුන්වන්නේ “අලියා කන්ද” යන නාමයෙනුයි.
කොබෝනීලගල කදු පාමුලට යන ගමන් මාර්ගය විස්තර කරනවා නම් කොළබ සිට පැමිණෙන කෙනෙකුට මුළින්ම මහනුවර නගරය දක්වා පැමිණිය යුතුය . අනතුරුව මහනුවර- මහියංගනය මාර්ගයේ තෙල්දෙණිය නගරය දක්වා පැමිණ, තෙල්දෙණිය නගරය පසුවනවාත් සමගම වම් පසට වැටී ඇති උඩිස්පත්තුව හරහා රංගල නගරය දක්වා පැමිණිය යුතුය. ඉන් අනතුරුව රංගල නගරයෙන් දකුණු දෙසට වැටී ඇති තන්ගප්පුව මාර්ගයේ සැලකියයුතු දුරක් ගෙවා පර්ඩෙල් ගම වෙත පැමිණිය යුතුය. මෙය එතරම් පහසු ගමන් මාර්ගයක් නම් නොවේ. රංගල සිට තන්ගප්පුව මාර්ගය නම් ඒ අතරින් අතිශයින්ම දුශ්කර ගති ලක්ෂණ පිළිබිබු කරන බව නම් කිව යුතුමයි. දීර්ග කාලයක් පිළිසකර නොකරනලද මාර්ගයේ ඇත්තේ ජල පහරවල් නිසා සේදී ඉතිරිවූ බොරළුකැට පමණි. එහෙයින් යම් කෙනෙකු කෙදිනක හෝ මේ ගමන පැමිණීමට අදහස් කරන්නේ නම් ඒ සදහා සුදුසු වාහනයක් යොදාගත් යුතු බව අවධාරණය කල යුතුයි.
කොබෝනීලගල තරණය කරන්නේ නම් ගම්වාසී මර්ගෝපදේශකයෙකුගේ සහාය පැතීම ඉතාමත් සුදුසුය. එය අපි අද්දැකීමෙන්ම අත්වින්දෙමු. කන්ද තරණය කිරීමට නිසි මාර්ගයක් නොමැත. මාර්ගයක් එළිපෙහෙළි කරමින් ඝණ කැලාව පීරා ඉවෙන් මෙන් නිසි මග සොයා යන්නට පළපුරුදු මගපෙන්වන්නෙකු සිටීම අතිශයින්ම වැදගත් වේ.
පර්ඩෙල් කඩමන්ඩියෙන් උදෑසන අහර ලබාගත් අප ඉතා ඉක්මනින් කදුපාමුල වෙත ගමන් ගත්තේ කල් වෙලා ඇතිව නැවත පැමිණීමේ අදහසිනි. උදෑසන 6ට පමණ තරණය ආරම්භ කළ නිසාවෙනුත් කොබෝනීලගල මීටර් 1556ක පමණ උසකින් යුත් කදු ශිකරයක් වීම හේතුවෙනුත් දහවල් 12 වන්නට මත්තෙන් නැවත කදු පාමුලට පැමිණීම අපගේ අපේක්ෂාව විය. .. නමුදු එය අප සිතූ තරම් සොදුරු තරණයක් නම් නොවීය. කණ්ඩායම තුළ සිටි ගැහැණු ළමුන් පවා නිරන්තරයෙන් කදු, දියඇලි තරණයන් තුළ අද්දැකීම බහුල අය උවත් මේ ගමන නම් කිසිසේත්ම අපේෂා කල අන්දමේ ගමනක් නොවන බව බැලූ බැල්මට ම පෙනෙන්නට විය. මං පෙන්වන්නා සිය මුවහත් පිහි තලයෙන් මග එළිකර දුන්නද; ගහකොලවල දැවටුණු දෑත් නිරන්තරයෙන් ම ගෙනදුන්නේ සියුම් වේදනාවකි. වරෙක අප හට ඉහළට නැගීමට සිදුවූයේ අංශක අනූවක තරම් වූ බෑවුමකිනි. එකිනෙකාගේ දෑත් අල්වා ඉතා අපහසුවෙන් එවැනි ස්ථාන තරණය කරන්නට සිදු විය. මෙවැනි කදු තරණයකදී එකිනෙකාගේ සහයෝගය කොයි තරම් නම් පිටුබලයක් ලැබෙන්නේ ද යන්න අපි හොදාකාරවම අත් වින්දෙමු.
මුළු කදුගැටයටම දර්ශන තලයන් හමු වූයේ එකක් හෝ දෙකක් පමණි. නමුත් ඒ කිසි තැනෙක එක විනාඩියකට හෝ රැදෙන්න අවකාශය නොවූයේ කන්ද නැගීම ආරම්භයේ සිට අවසානය දක්වා ම කූඩැල්ලන්ගෙන් නම් කිසිදු අඩුවක් නොවූ හෙයිනි. එහෙයින් හමුවන දර්ශන තලයන් තුළ පවා රැදී සිටීමේ භාග්යහ අපට අහිමි විය. එය ඔවුන්ගේ පාරාදීසයයි. අපි ඊට ආගන්තුකයින් වීමු.
කොබෝනීලගල දුෂ්කරතා රැසක් මතුවූ තරණයක් උවද; අප ලද අද්දැකීම සමග ගත්කළ ඒ සියළු දුෂ්කරතා ඇත්තේ පිටුපසිනි. තුරුලතා සෙවන යට ගමන්කළ හැකි ශිඛරයන් ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ඝණ හිරු රැස් බිදක් හෝ නොවැටෙනා අයුරින් අප වසා සිටි වෘක්ෂ ලතාවෝ කොබෝනීලගල කදු තරණය අප සිත් තුළ මනස්කාන්ත මතකයන් රැස්කරලීමට සමත් විය. කදු මුදුනේ නිසි දර්ශන තලයක් නොවූවද, ඇති කුඩා බිම්කඩ සිට දුම්බර කදුවැටියේ ඈත කෙළවර දක්වා පෙනෙන දර්ශනය ඉතාමත් මනස්කාන්ත වේ .
යම් දිනයක කිසිවෙකු හෝ කොබෝනීලගල තරණය කරන්නට අදහස් කරන්නේ නම් දුෂ්කරතා සහ අභියෝග වලට මුහුණදීමේ සූදානමින් පැමිණිය යුතුය. දුෂ්කර බෑවුම් සහිත මගක් ඔස්සේ ගමන් කිරීමට සිදුවීම, කූඩැල්ලන් බහුල වීම, කන්ද තරණය සදහා නිසි අඩි පාරක් හෝ නොමැති වීම යනාදී කරනා හේතුකොටගෙන කදු නගින්නන් අතර මෙය ජනප්රිකය නොවීමට හේතු වී තිබේ. නිසි දර්ශන තලයක් හෝ කදවුරු බිමක් කොබෝනීලගල කන්ද තුළ නොමැති හෙයින් කදවුරු බදින්නන් ද මින් ඈත්වී සිටීමට හේතු වී තිබේ. නමුත් සංචාර ජීවිතය කරගත් අපට නම් “කොබෝනීලගල” සැගවුණු පාරාදීසයක් බදු විය. ඒ තුළ වූ කුතුහලය, ලද අද්දැකීම , දැනුණු හැගීම කෙසේ නම් වචන වලට පරිවර්තනය කරන්නද...
කන්ද පහළට පැමිණීම මාර්ගය සොයා යන තරම් අපහසු නොවූවද ; කදුපාමුලට පැමිණෙන විට සවස් වී තිබිණි. වියලි ආහාර සහ ශක්තිජනක ආහාර අප රැගෙනගිය නිසාවෙන් කුසගිනි නොදැනුනද ගතට නම් දැනුනේ විඩාබර ගතියකි. කදු පාමුල සිට පර්ඩෙල් කඩමණ්ඩිය දක්වා නැවත පැමිණෙන ගමනේදී අප මගපෙන්වන්නා ගමන් කලේ උදෑසන පැමිණි මාර්ගය නොව; පහත් බිම්කඩක් ඔස්සේ ගමන්ගත් වෙනත් මාර්ගයකි. මද වෙලාවකින් ඔහු අප විශ්මයට පත්කර හමාරය. කුඩා වූ නමුත් මනස්කාන්ත දිය ඇල්ලක් අප ගමන්මග ආසන්නයේ දිස්වන අපූරුව. .. ගමනේ විඩාව දුරුවන තුරු අපි දිය ඇල්ලේ පහස ලද්දෙමු. අනතුරුව පර්ඩෙල් කඩමණ්ඩිය දක්වා පැමිණි අප උණු උණු පොල් රොටී සමග තේ පානය කල අතර අලංකාර වූ පාරසරික වටපිටවකට සමුදී ගමෙන් පිටත් වන විට හිරු අවරට යමින් පැවතුණි.
අප ජීවිතය විදිය යුතුය. මේ රටේ තාරුණ්යනය පරිසරය සමග ඒකාත්මික විය යුතුය. අප ලද්දේ එවන් අද්දැකීම සමුදායකි. කෙනෙකුට එය මූල්ය මය අගයකින් මැනිය නොහැක. නවමු තාක්ෂසණය සමග සමාජජාලගත විය යුත්තේ පාරසරික බැදීම් සමගිනි. නමුත් කිසිම දිනෙක මේ නොයිදුල් පරිසර පද්දතිය විනාශ කරන්නෙකු බවට පත් නොවීය යුතුය.. එය ඔබේත් මගේත් යුතුකමක් මෙන් ම වගකීමක් ම ලෙස සලකමු.


video link👇
https://www.youtube.com/c/BMKTravel